university of kelaniya

2015-07-06


පෞද්ගලික බස් රථවල කි‍්‍රයාත්මක කරන ගුවන් විදුලි මාධ්‍ය මගින් මගීන්ට කරන  බලපෑම පිළිබද අධ්‍යයනය

ගුවන් විදුලිය ශබ්දය පදනම් කරගත් මාධ්‍යයකි. එක් වස්තුවක් තව වස්තුවක් හා ගැටීමෙන් ඇතිවන චලනයෙන් තරංග රැසක් බිහිවේ. එතුළින් උපදින්නේ ශබ්දයකි. ශබ්දය හා මිනිස් පරිසරය අතර ඇත්තේ අනිවාර්යය, සජීවී බැදීමකි. ශබ්දය හොදට මෙන්ම නරකටත් යොදා ගැනීමට හැක. ශබ්දය කිසිවක් ප‍්‍රකාශ කරන සංඥාවක් ලෙස හදුනා ගැනීමට හැකි වූයේ ගුවන් විදුලිය ජනමාධ්‍යයක් ලෙස ව්‍යාප්ත වීමෙනි. ගුවන් විදුලියේ මෙම ව්‍යාප්තියත් සමග 90 දශකයෙන් පසුව, විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය සීමාවෙන් බැහැරව පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහි වීමත් සමග මෙරට පොදු මෙන්ම පෞද්ගලික ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය අතරද ගුවන් විදුලිය වඩාත් ජනපි‍්‍රය විය. මේ පසුබිම මත යහපත් මෙන්ම අයහපත් තත්ත්ව ඇතිවිය. තොරතුරු සම්පාදනය කරන, විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් ලෙසින් බස් රථවල ගුවන් විදුලි යන්ත‍්‍ර කි‍්‍රයාත්මක වූවා සේම ඇතැම් විටෙක එවා මගීන්ව කායිකව මෙන්ම මානසිකව පීඩාවට,වෙහෙසට පත් කරමින් ද කි‍්‍රයාත්මක විය. මෙවැනි වාතාවරණයක 1980 අංක 48 දරණ ජාතික පරිසර පනතට ඇතුළත් කෙරුණු වගන්තියක අධික ශබ්ද නිකුත් කරන සාමාන්‍ය පොදු වාහන සදහා බලපැවැත්වෙන නීතියක් සම්මත විය.
සන්නිවේදන මාධ්‍ය තුළින් සිදුවිය යුත්තේ නිවැරදි දේ සම්පාදනය කිරීමකි. එහි කි‍්‍රයාත්මකභාවය මහජන යහපත සදහාම විය යුතුය. මෙම පදනමෙන් බැහැරව කටයුතු කරන මාධ්‍ය තුළින් පුද්ගලයාට මෙන්ම ඔහු ජීවත්වන සමාජයටද බලපෑම් සිදුකරයි. මෙම අධ්‍යයනය තුළින් සිදු කරනුයේ ඒ ආකාරයට පෞද්ගලික බස් රථවල කි‍්‍රයාත්මක කරන ගුවන් විදුලි යන්ත‍්‍ර මගින් මගීන්ට බලපෑමක් සිදු කරයිද නැතිද යන්න පිළිබදව සොයා බැලීමයි. මෙම පර්යේෂණ ගැටළුව සදහා මා ප‍්‍රශ්නාවලි ක‍්‍රමය හා සම්මුඛ සාකච්ජා ක‍්‍රමය යොදා ගති. මෙහිදි දිස්තී‍්‍රක්කයක් ආශ‍්‍රය කොටගෙන ප‍්‍රශ්නාවලි 50 ඇසුරින් මේ සම්බන්ධව මගීන්ගේ හා පෞද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ අදහස් විමසන ලදී. එසේම මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සම්බන්ධව කටයුතු කරන ආයතනවල ප‍්‍රධානීන් හා ජනතාව අතර වඩාත් ජනපි‍්‍රය පෞද්ගලික ගුවන් විදුලි නාලිකා කීපයක අදාළ නිලධාරින් සමග සිදුකළ සම්මුඛ සාකච්ජා ක‍්‍රමයෙන් මෙම පර්යේෂණයට අදාළ අදහස්,තොරතුරු ලබා ගන්නා ලදී.
පෞද්ගලික බස් රථවල කි‍්‍රයාත්මක කරන ගුවන් විදුලි යන්ත‍්‍ර මගින් මගීන් වෙත බලපෑමක් සිදු කරයි ද නැති ද යන්න පිළිබදව සොයා බැලීම සදහා මා තෝරාගන්නා ලද දිස්තී‍්‍රක්කය ඇසුරින් සිදුකළ පර්යේෂණය තුළින් ලැබුණු නිගමනය වූයේ මගීන් වෙත ප‍්‍රබල බලපැමක් පෞද්ගලික බස් රථවල කි‍්‍රයාත්මක කරන ගුවන් විදුලි යන්ත‍්‍ර මගින් සිදු නොකරන බවයි. බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් රේඩියෝවේ බලපෑම පිළිබදව සලකා බැලූවිට ද තත්ත්වය එසේමය. මා අධ්‍යයනය සදහා තෝරාගන්නා ලද දිස්තී‍්‍රක්කය තුළ ඇතිවන විද්‍යුත් තරංග වල අවහිරතා හා වීඩියෝ, සීඩි වැනි අමතර මාධ්‍ය සදහා බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් යොමු වී සිටීම යන කාරණා පෞද්ගලික බස් රථවල ගුවන් විදුලි යන්ත‍්‍ර භාවිතයෙන් සිදුකරන බලපෑම අඩුවීමට හේතුවන බව මෙම පර්යේෂණය මගින් පැහැදිලි විය. මේ අයුරින් ගුවන් විදුලි යන්ත‍්‍රය බස් රථවල කි‍්‍රයාත්මක කරනු ලබද්දී කිසිවකුටවත් බාධා නොවන අයුරින්, එය යහපත් සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් භාවිතා කළ යුතු බව පැහැදිලිය.

No comments:

Post a Comment