2015-06-21
සිවා මේ කව නුඹටය...
දීපාවලී හදගැන
පිච්චමල් මදහස ගැන
මිස ලියැවෙද
සිහළ කවියක
දෙමළ දෙවියකු පිළිබද
හෙද් ගැඹුරක නවාතැන් ගෙන
සියුම් රිදවුම් කැදවන,
තවම හීනෙන් ඇවිත් ඉදහිට
මතක සැමරුම් පෙරළන
වසන්තයටත් කළින් නික්මුණු
වසත් සදවත පිළිබදව
උමයගන වන්නට
නොලදිමි වරම් එදවස
නමුදු මතකයේ උණුසුම
හුරුපුරුදු ඒ හදවත
‘සිවා’ නම් වූ නිහඩ හිතවත,
ඉදින් මේ කව නුඹටය.
දෙවෙනි වසරේ කෙළවර
ගමේ ගිය නුඹ නොපැමිණ
ගෙවූ පසුගිය දොළොස් වසරම
කල්පයක් විය තනි මට.
සිවා නුඹටත් එහෙමද?
කහ පැහැති මල් අදත් ඉහිරෙන
ලිය මඩුළු යට ඇහැරෙන
ඒ පැරණි සිහිනයකට
ගොඩවෙමි තවම ඉදහිට
නුඹේ අතකින් ඇදගෙන
මහවැලිය සහ පාළම
පුස්තකාලය, කැන්ටිම
හන්තාන කදුවැටියම
තවම වෙනසක් නැති හැඩ!
සිවා නුඹටත් මතකද?
හිල්ඩා එකට මා යන
පාරේ කොණක තනිවම
රැුක සිටියයුරු එදවස
කන් දෙකත් රතු කරගෙන
‘ අපටත් නැද්ද මුරුක්කු?’
අහන්නත් පෙර දික්කළ
යාපනේ සිනාවක දැවටූ
මුරුක්කු පාර්සලයම
රහ නැතිද ඒ තරමට
සිවා මේ කව නුඹටය.
දෙවියෙක් වුණත් දෙමළෙක්’
කියා දකුණේ නෑදෑයෙක්
මූණටම කී දවසෙත්
සිනහව නොවී අඩුවක්,
‘ මිනිසුනේ අපි ඔක්කොම’
කියූ සුන්දර පපුවක්?
අවසන් නොකළ කවියක්
මගහැරුණු හද ගැස්මක්
නිදන්ගත තනි හිතකින්
බලා හිදිනෙමි තවමත්
සිංහල අකුරු අතරට
පුරවා දෙමළ වචනත්
ලියා යන්නට මේ කව
ඇවිත් යනවද ආයෙත්
සීතලයි මේ තනිකම්
දරාගන්නද තනි මං
සිවා, නුඹ දන්නවනම්
-රූසරණී සුපුුන්සරා බණ්ඩාර -
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment